.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Thursday, June 2, 2011

මැගලන් ගේ මුහුදු ගමන

බොහෝ බාධක සහ කරදර මධ්‍යයේ 1519 සැප්තැම්බර් 20 වැනි දින නැවියන් 280 දෙනෙකුගෙන් සමන්විත වූ තම නෞකා පහ මුහුදට දියත් කරන්නට මැගලන් සමත් වුණා. ස්පාඤ්ඤයේ සෙවිලි නගරයේ ශාන්ත ලූකාර් වරායෙන් තම දේශ ගවේෂණ යාත‍්‍රා ගමන ආරම්භ කළා. මැගලන්ගේ කොඩිය සහිත නෞකාව වූයේ ටි‍්‍රනිඩෑඩ් ය. ගමනේ මුල් දින කිහිපය ඉතා සාමකාමීව ගත කරන්නට මැගලන් ඇතුළු පිරිසට හැකි වුණා. එහෙත් මැගලන් නොදැනුවත්වම කරදර රැසක් ඒ වන විටත් පැසවෙමින් තිබුණා.සැප්තැම්බර් 26 වැනි දින මැගලන් ඇතුළු නෞකා කණ්ඩායම කැනරි දූපත්වල ටෙනිරයිෆ් වලට ළඟා වුණා. මැගලන් සමඟ මේ ගමනට සහභාගි වුණු වැනිසියානු ජාතික අන්තෝනියෝ පිගෆෙටෝ මේ දූපත් ගැන මෙසේ වාර්තා කර තිබෙනවා.“මීදුමෙන් වටවුණු සුරංගනා දූපත් වැනි වූ මෙහි මධ්‍යයේ වළාකුළු තරම් උසට නැගුණු කඳු දක්නට ලැබෙනවා”මැගලන් මෙම දූපත්වලට ළඟා වුණු සැනින් ඔහුගේ මාමණ්ඩිය වූ බාර්බෝසා, මැගලන් වෙතට පණිවුඩයක් රැගෙන පැමිණියා. මැගලන් ගේ නෞකාවල ගමන් ගත් කපිතාන්වරුන් තිදෙනෙක් ටෙනිරයිෆ් හි දී මැගලන්ව මරා දමන්නට කුමන්ත‍්‍රණය කර ඇති බවයි ඉන් කියැවුණේ.
තමන්ට එරෙහිව කුමන්ත‍්‍රණය කළ කපිතාන්වරු තිදෙනා ගැන දැනගත් මැගලන් ඒ ගැන අවධානයෙන් පසුවන්නට ද සුදුසු වේලාව පැමිණි විට ඊට නිසි පියවර ගන්නට ද සූදානම් වී සිටියා.ගමන ආරම්භයේ සිටම කරගෙන ආ පිළිවෙතක් වූයේ සෑම සවසකම එකතු වී අදහස් හුවමාරු කර ගැනීමයි. ටික දිනක් ගත වූ පසුව මැගලන්ට එරෙහිව කුමන්ත‍්‍රණය කළ කපිතාන්වරු තිදෙනා මේ අදහස්් හුවමාරුව ප‍්‍රතික්‍ෂේප කළා. එමෙන්ම මැගලන්ට නියම නමින් ආමන්ත‍්‍රණය කරන්ටත් පැකිළුණා. මේ හේතුව නිසා නාවිකයන් අතර ගැටුමක් ඇති වුණු අතර ඉන් කිහිපදෙනෙක් සිරභාරයට ගන්නටත් මැගලන්ට හැකියාව ලැබුණා. මින් බියට පත් අනෙක් නාවිකයන් මැගලන්ට අවනත වෙමින ගමන් කරන්නට වුණා.මැගලන්ගේ ප‍්‍රධාන අරමුණ වුණේ කුළුබඩු දූපත් වලට ළඟා වන්නටයි. එහෙත් ඉතා තද මුහුදු රැල්ල බටහිර අපි‍්‍රකානු වෙරළ දෙසට සැඩවුණු අතර කුණාටු නිසා ඔවුන් බටහිර අපි‍්‍රකානු වෙරළට ගසාගෙන ගියා.ඔවුන් කෙසේ හෝ බටහිර දෙසට ගමන් කරමින් අත්ලන්තික් සාගරය තරණය කළා. ඔවුන්ට ඒ සඳහා දින 79 ක කාලයක් ගත වුණා. ඔවුන් අද රෙසිෆ් නමින් හඳුන්වන පර්නැම්බියුරක් වලට ළඟාවුණු අතර දකුණු ඇමෙරිකානු වෙරළ තීරය දිගේ ගමන් කරන්නට වුණා. එහිදී ඔවුන්ට රතු ඉන්දියානුවන් මුණගැසුණු අතර ඔවුන් හා මිත‍්‍ර වෙන්නට ද නැවියන් සමත් වුණු බවයි පැවසෙන්නේ මැගලන් සමඟ ගමන් ගත් අන්තෝනියො පිගෆෙටෝ මේ පිළිබඳව තම දිනපොතෙහි මෙසේ සටහන් කර තිබෙනවා. “මෙහිදී අපි සාර්ථක ලෙස බඩු හුවමාරු කර ගතිමු. බිලී කොක්කක් හෝ දී කුකුළන් පස් දෙනෙකු හෝ හය දෙනෙකු හෝ ලබාගන්නට පිළිවන් විය. පනාවක් දී පාත්තයන් දෙදෙනෙකු ද ලබාගතිමු.... කඩදාසි කුට්ටමේ කොළ දී ලෙහෙසියෙන්ම බඩු හුවමාරු කර ගතිමු. කඩදාසි කුට්ටමේ ඉස්කෝප්ප හේරා කොළයක් දී මම කුකුළන් හය දෙනෙකුම ලබාගතිමි. තමාට අත් වූ ලාභය ගැන එම ස්වදේශිකයා අතිශයින්ම සතුටු වූයේය” යාති‍්‍රකයන් මේ අන්දමින් මෙසේ නොවටිනා භාණ්ඩ දී ඒ වෙනුවට අත්‍යාවශ්‍ය ආහාර පානාදිය ලබාගත් බවයි වාර්තා වෙන්නේ.

No comments:

Post a Comment