.QOverlay { background-color: #000000; z-index: 9999; } .QLoader { background-color: #CCCCCC; height: 1px; } .QAmt { color:#FF530D; font-size:50px; font-weight:bold; line-height:50px; height:50px; width:100px; margin:-60px 0 0 -50px; }

Pages

Thursday, June 2, 2011

මහ පොළොවට ආදරය කළ මිනිස්සු

මහ පොළොවට ආදරය කළ මිනිස්සු
අපේ නිවහන මහ පොළොවයි. සෞර ග‍්‍රහ මණ්ඩලයේ ජීවය පවතින්නා වූ එකම ග‍්‍රහ ලොව ලෙස සැළකෙන්නේ ද පෘථිවියයි. ජීවයේ පැවැත්මට අවශ්‍ය කරන සියලු සාධක පෘථිවිය සතුව තිබීම මීට හේතුවයි. ඒ නිසයි අපේ මේ පෘථිවියට සෞර ග‍්‍රහ මණ්ඩලයේ සුවිශේෂී තැනක් හිමිව තිබෙන්නේ.ජීවයේ පැවැත්මට ආධාර වන සියලු සාධක පෘථිවිය සතුව තිබුණ ද එහි ජීවත් වන මිනිසා මෙම සාධක එකින් එක විනාශ කරමින් සිටී. බුද්ධිමත් යැයි කියාගන්නා මිනිසා අතින්ම මෙවැනි කි‍්‍රයා සිදුවීම බුද්ධියට ද කරන නිගාවකි.අද අප මේ භූක්ති විඳින මහ පොළොව අපේ මුතුන් මිත්තන් රැක ගත්තේ සිය පණ රැක ගන්නා ලෙසිනි. ඔවුන් මේ මහපොළොවට බෙහෙවින් ආදරය කළේය. ගෞරව කළේය. කරුණාව දැක්වූයේ ය. ආරක්‍ෂා කළේය. ඔවුන් කිසි ලෙසකින් මහ පොළොවට වින කළේ ද නැත. ඔවුන්ගේ දිවි පැවැත්ම ඉතා සරල විය. පරිසර හිතකාමී විය. ජීවනෝපාය සරිකර ගැනීමේ දී ඔවුන් කිසි විටෙකත් යන්ත‍්‍ර සූූත‍්‍ර භාවිතා කළේ නැත. ඒ සඳහා ඔවුහු ඉතා සරල ආයුධ තනා ගත්හ. එම ආයුධ වලින් කිසි විටෙකත් මහ පොළොව රිදෙව්වේ නැත. බෙහෙවින් දියුණු ලෝකයක ජීවත් වන අපට පවා සිතා ගත නොහැකි නිර්මාණ අපේ මුතුන් මිත්තන්ගේ අතින් නිර්මාණය විය. විශාල දාගැබ්, වාරිකර්මාන්ත, පිරමීඩ මෙවැනි දැවැන්ත නිර්මාණ වලින් කිහිපයකි. මෙවැනි දැවැන්ත නිර්මාණ ගොඩනැංවීමේදී අද මෙන් ඔවුන්ට එදා දොඹකර තිබුණේ නැත. ඔවුන් සෑම විටම පරිසරයට හානියක් නොවන පරිද්දෙන් කටයුතු කිරීමට තරම් සැළකිලිමත් විය. මහපොළොව කෙරේ ඔවුන් දැක්වූ අප‍්‍රමාණ සැළකිල්ල එයින්ම අපට තේරුම් ගත හැක.






එහෙත් ක‍්‍රමක‍්‍රමයෙන් තාක්‍ෂණය දියුණු විය. සෑම රටක්ම කාර්මිකරණයට හසු විය. මේ දේවල ප‍්‍රතිඵලය වූයේ මහපොළොවට නුසුදුසු බොහෝ අප ද්‍රව්‍ය නිකුත් වීමයි. අද අප අශ්වාස ප‍්‍රශ්වාස කරන්නේ විෂ මිශි‍්‍රත වායුවයි. පානය කරන්නේ දූෂිත ජලයයි. ගහකොළ සතා සීපාවා දිනෙන් දින අපෙන් සමුගනිමින් සිටී. සමහර ශාක සහ සත්ව විශේෂ නැත්තටම නැති වී ගොසින් ය. මේ හැම දේකටම හේතුව මිනිසා සහ ඔහුගේ අහිතකර කි‍්‍රයාකාරකම් ය. දිනෙක මහපොළොවට මෙවැනි විනාශයක් සිදුවන බව නොදියුණු යැයි අප සළකන ගෝති‍්‍රක පිරිසකගේ නායකයකු විසින් ප‍්‍රකාශ කරන ලදී. එදා අද තරම් තාක්‍ෂණය දියුණු වී තිබුණේ ද නැත. එහෙත් එම ගෝති‍්‍රක නායකයා සතුව දුරදක්නා නුවණක් තිබිණ. දියුණු යැයි පවසන අපගේ මේ හැල්මේ දුවන ජීවිත නිසා දිනෙක මහපොළොව විනාශ වෙන බව ඔහු දුටුවේය. ඒ බව ඔහු ප‍්‍රකාශ කළේය. මහපොළොව සුරකින මෙන් ඔහු අපගෙන් අයැද සිටියේය. එහෙත් ඔහු පැවසූ ඒ වදන් අපි නෑසූ කන්ව සිටියෙමු. ආත්මාර්ථයෙන් කටයුතු කළ අපගේ දෑස් විවර වී ඇත. ඔහු පැවසූ දේ අද සත්‍ය වී ඇත. මහපොළොව ක‍්‍රමයෙන් විනාශ වෙමින් පවතී. ඊට හේතුව මිනිසා වන අප ය.





තුන් කල් දුටු මෙම ගෝති‍්‍රක නායකයා රතු ඉන්දියානුවෙක් විය. හෙතෙම සියැටල් නම් වූවේය. ඔහු මෙම ප‍්‍රකාශය කළේ වර්ෂ 1854 දීය. රතු ඉන්දියානුවන්ගේ නිජ භූමිය වුණු උතුරු ඇමරිකාවේ යුරෝපීය සුදු සංක‍්‍රමණිකයන් පදිංචි වීමට පටන් ගත්තේය. තමන්ට වාසස්ථාන සකසා ගැනීම සඳහා සුදු සංක‍්‍රමණිකයන් රතු ඉන්දියානුවන්ගේ භූමිය ආක‍්‍රමණය කරන්නට පටන් ගත්තේය. භූමිය සඳහා මොවුන් දෙපිරිස අතර උග‍්‍ර සටන් ඇති විය. දෙපාර්ශවයේම බොහෝ පිරිස් මේ නිසා මරුමුවට පත් වූවේය. නිමාවක් නොදකින මේ යුද්ධයෙන් වෙහෙසට පත් වුණු එවකට ඇමරිකාවේ ජනාධිපතිව සිටි ෆ‍්‍රෑන්ක්ලින් පියර්ස් රතු ඉන්දියානු ඉඩම් අක්කර දෙකක් මිල දී ගැනීමට යෝජනාවක් නායක සියැටල් වෙත ඉදිරිපත් කළේය. ජනාධිපතිතුමාගේ එම යෝජනාවට ප‍්‍රතිචාර වශයෙන් සියැටල් මෙම ඓතිහාසික ප‍්‍රකාශය කළේය. මෙම සියවසේ වඩාත්ම සංවාදයට භාජනය වී ඇති, එසේම ඉදිරි සියවස්වල දී සංවාදය භාජනය වේ යැයි විශ්වාස කළ හැකි අතිශය සිත් ආකර්ශනීය වූ ද පාරිසරික ලෙස වැදගත් වූ ද ප‍්‍රකාශයකි එය.සියැටල් විසින් කරන ලද එම ප‍්‍රකාශය වාර්තා කරන ලද්දේ එවකට ඇමරිකාවට සංක‍්‍රමණය වී සිටි සුදු ජාතික ලේඛකයකු වූ හෙන්රි ස්මිත් විසිනි. මේ සටහන් ඔහු විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබුවේ ඊට වසර 30 කට පසුය. ඒ වන විට නායක සියැටල් මිය ගොස් වසර දහසයක් ද ගත වී තිබිණ. එදා මෙදා තුර පරිසරය පිළිබඳව කරන ලද අති විශිෂ්ඨතම ප‍්‍රකාශය ලෙස සැළකෙන්නේ මෙයයි. අප්‍රේල් 22 වැනි දා මිහිකත දිනයයි. මහපොළොවට පෙම් බැඳි මිනිස්සු ගැනත්, මහපොළොව ගැන කියැවුණු ඒ විශිෂ්ඨතම ප‍්‍රකාශය ගැනත් කතා කරන්න සුදුසුම දිනය අප්‍රේල් 22 වැනිදායි.

No comments:

Post a Comment